Thursday, September 16, 2021

ආදරණීය තාත්ති - 02

 ජීවිතේහරි පුදුමයි. සමහර වටින දේවල් නොහිතන වෙලාවට අපිට ලැබෙනවා. 

ඉතින් අන්න ඒ වගේ අපිට ලැබුණු පුංචි තෑග්ග මහමෙරක් තරම් වටිනවා. 

ඔයා දන්නවද පැටියෝ අද වෙනකොට ඔයා අපේ ජීවිතයට ඇවිත් හරියටම මාස මාස දෙකයි දවස් පහයි



කියන්නම ඕනි ඔයා ආව දවසේ ඉඳලම පුංචි පුංචි දේවල් පවා හරි ඉක්මනට සාර්ථක වෙන ජීවිතයක් අපිට ලැබුණා. 

කොටින්ම කිව්වොත් මට හිතෙන්නේ ඔයා තමයි අපේ වාසනාව.

ලොකු අමාරුවක් නොපෙන්නුවත් පුංච් පුංචි අපහසුතා එක්ක මේ දවස් ටික ගෙවිලා ගියා. වෙනදා වගේ උදේ පාන්දර නැගිටින්න මගේ ස්වේතාට ටිකක් අපහසුයි.

 හැබැයි එහෙමයි කියලා අර ගේ පුරාම සුවඳ විසිරුණු කෑම වේලේ රස නම් ටිකක් වත් අඩු වුණේ නෑ.

 කුලුදුලේම  අම්ම කෙනෙක් වෙන්න පෙරුම් පුරන මේ සොඳුරු චරිතය මටනම් දැනුනේ හරියටම මටත් අම්මා වගෙයි..

ඒ තරම් ආදරයක් ඒ හිත ඇතුලේ තිබුනා.

 

 කෝ මේ ලොකු බබා....? 

ස්වේතා ගේ කතාවට මට කට කොනකින් අපූරු සිනහවක් ගියා. ඒ ඉබේටම වගේ. 

                              

"ඔව් ඉතින් ඔන්න දැන් අපේ අම්මිට බබාලා දෙන්නයි. මම එහෙම දන්නෙ නෑ දෙන්නම බලාගන්න එකයි ඇත්තේ."

           එහෙම කියාගෙනම ටික වෙලාවකට කලින් මගේ අතින්ම හදලා තියපු තේ කෝප්ප දෙකක් අරගෙන ස්වේතා මගේ ළඟට කිට්ටු උනා. වෙනදට නම් උදේ පාන්දර බිස්කට් එකක් කන ගමන් කිරි වීදුරුවක් බොන එක අපි දෙන්නටම  පුරුද්දක් වෙලයි  තිබුනේ.

  දැන් ඉතින් මගෙ ස්වේතට පිටිකිරි ගැන මතක් කරන්නවත් බෑ. 

ඒ නිසාම අපි ඒ පුරුද්ද අත්හැරලා දාන්න තීරණය කලා. මොකද මගේ ස්වේතාට නැති දෙයක් මට ගන්න හිත දුන්නෙම නෑ. 

කොහොමින් කොහොමින් හරි ඉඟුරු දාපු රස තේ එකක් අපි දෙන්න වෙනුවෙන්ම උදෙන්ම සූදානම් කරන්න පුංචි පැටියා ආව දවසේ ඉදන්ම මං භාර ගත්තා.


                              වෙනදට නම් අපේ දින චර්යාව අනුව මුලින්ම එලාම් එක ඕෆ් කරන්නෙ ස්වේතා. හැබැයි දැන් ඒ වෙනුවට ඇඳට වෙලා ටික වෙලාවක් වාඩි වෙලා ඉන්න ස්වේතා පුරුදු වෙලා.

 ඒ මං හිතන්නේ මේ අපහසුතා එක්කම වෙන්න ඇති. මේ අතරේ දි කැරකිල්ලයි කියලා ආයෙමත් ඇදටම වැටෙන වෙලාවලුත් නැතිවම නොවෙයි.

 මේ කියන පුංචි පුංචි අපහසුතාවයන් වුණත් මගේ ස්වේතා විඳිනවා දකින වාරයක් ගානේ ඇස් දෙකෙන් කඳුළු වැටෙන තරමටම මගේ හිතට දැනුනේ කියාගන්න බැරි වේදනාවක්. 

මතක තියාගන්න පැටියෝ ඔයාව ඔයාගේ අම්මා ගොඩක් දුක් විඳලයි ඔය බන්ඩිය ඇතුලෙ තියාගෙන ඉන්නේ .

හැබැයි ඉතින්  මේ දේවල් ගර්භනී කාලයේදී සාමාන්‍ය දේවල් කියන කාරණය අපි තේරුම් ගත්තා.එහෙම නොවෙන්න ජීවිත්‍යට මුහුන දෙන එක ලේසි වෙන්නේ නෑ.

                              සමහර දවස්වලට ස්වේතා හිටිය හරිම අමාරුවෙන්.

ඒ උදෙන්ම හැදුන කලන්තයත් එක්කම වමනෙ යන්න ගත්තු නිසා. 

මේ විදියට වමන යන දවසට මගේ ස්වේතා ගේ මූණ හරියටම මැලැවුණු මැලැවුණු මලක් වගෙයි. අපහසුතාවය ටිකෙන් ටික මඟ හැරිලා ගිහින් ඒ ලස්සන මූණ සුන්දරත්වය ආයෙමත් මතුවෙන්න ගියේ පුංචි වෙලාවයි.

හැම දවසකම මං මග බලාගන හිටියේ ඒ හිනාව ආයෙමත් දකින්නමයි. 

පුංචි පැටියා එයාගෙ කුස ඇතුලෙ මේ විදියට දවසින් දවස අතපය දිගාරින්න සූදානම් වෙද්දී වෙනදට නොපෙනුන හරි අපූරු පින් පාටක් ස්වේතා ගේ මූණෙන් මං දැක්කේ. 

                              


වෛද්‍ය උපදෙස් පිළිපදිමින් අපේ පැටිය රැක ගන්නව වගේමයි ස්වේතා ගේ මානසික සෞඛ්‍ය රැකගන්න එක මේ වෙලාවෙදි වැදගත්ම දේ කියන්න මම තේරුම් අරගෙනයි හැම වෙලාවකදිම කටයුතු කලේ. 

ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම දෙවරක් නොසිතාම කරන්න මම පසුබට උනේ නෑ. මොකද කුසේ ඉඩක් දෙන්න මට පුළුවන් කමක් නැති වුණාට හදවතේ මුළු ඉඩම වෙනකොට ඒ දෙන්නා අත්පත් කරගෙන අහවර නිසා. 

                              

                     විවාහයට කලින් ගොඩක් මහන්සි වෙලා පෙරුම් පුරලා අපිත් අනාගත්ත නිවසට තෝරගත්තෙ නිහඬ නිස්කලංක පරිසරයක්. 

එක් පසෙකින් වෙල්යායට මූණ ලා තිබුණු අපේ නිවස කාර්යබහුල ජීවිතයට ගෙන ආවේ ඇත්තටම  හරි අපූරු නිදහස් හැඟීමක්. කොහොම වුණත් මේ නිදහස් හැඟීම අපි දෙන්නටම මේ වෙලාවෙදි ලොකු ශක්තියක් වුණා. දෙමාපියන්ගෙන් ලැබුණු අත්දැකීම් ආභාෂයත් එක්ක අපි දෙන්නටම බුදු දහම පිළිබඳ ව තිබුණේ පුදුමාකාර ලැදියාවක්. 

හැම දවසකම සවස් යාමයේදී අපේ නිවසට එන කෙනෙක්ට ඇසුණේ පිරිත්. ඒ දෙය නම් කිසිම දිනක වෙනසක් වුණේ නෑ. 

ඒ වගේමයි සියලු කාරනයන්ට පෙරදි වුනොත් බුදු කුටිය ළඟට ගිහින් ආශිර්වාදය ලබාගන්න අපි අමතක කළේ නෑ. ඉතින් පුංචි පැටියා කුස දරාගෙන ඉන්න මේ වෙලාවෙදි බුදු කුටිය ළඟට වෙලා නිහඬ නිස්කලංකව ආගමික කටයුතු වෙනුවෙන් හැම දවසකම කාලයක් වෙන්කර ගන්න අපි උනන්දු වුණා. 

උදෑසන කාලයේදී ස්වේතා ට දැනෙන අපහසුතා එක්ක මේ කාර්යයට තරමක් අපහසුයි. හැබැයි රාත්‍රී කාලයේ දී ඒ වෙනුවෙන් කාලය වෙන් කරගන්න අපට පුළුවන්කමක් ලැබුණා. 

වෙනදට රූපවාහිනිය ඉදිරියේ ගෙවපු කාලය අද වෙනකොට මේ කාර්යය වෙනුවෙන් වෙන් කරන්න අපි පුරුදු උනා. 

රාජකාරි කටයුතුත් එක්ක කොයිතරම් කාර්යබහුල වුණත් මේ නිසා ස්වේතා ට විතරක් නෙවෙයි මගේ ජීවිතයටත් ලැබුණේ පුදුමාකාර ආශිර්වාදයක්.

                     

                    මගේ දෙමවුපියෝ වගේම ස්වේතගේ අම්මා තාත්තා අපේ පැටියා වෙනුවෙන් වද වුනේ අපිටත් වඩා. මේ දෙගොල්ලම අපේ නිවසට සමීපයෙන්ම හිටපු නිසා පුංචි පැටියා කුසට ආව මේ කාලය තුලදිත් ස්වේතාට ලැබුණු ආදරය සැලකිල්ල කිසිම අඩු පාඩුවක් උනේ නෑ. බොහෝ වෙලාවට රාත්‍රී ආහාරය ලැබුණේ අපේ අම්මලාගෙ නිවසින්. 

මේ නිසා අපි දෙන්නගෙම පුංචි අමුත්තා ට එන්න කලින්ම බොහෝ දෙනෙක්ගේ ආදරේ ලැබුණා කියන්න පුලුවන්. 

                    

                තවමත් අපේ පුංචි අමුත්තා ස්වේතගේ කුසට ඇවිත් පොඩි කාලයක් වෙන නිසා වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න අවශ්‍යයි. 

ළඟ හිටපු හැම මොහොතකම එයා වෙනුවෙන් සැලකිල්ලෙන් ඇස් යොමාගෙන ඉන්න මං පුරුදු වුණා... ඒ හරියට පුංචි දරුවෙක්ව රකිනව වගෙයි.

 මගෙ හිතනම් නිතරම කිව්වේ තබන  තබන පියවරක් ගානේ වුණත් මගේ ලොකු ආරක්ෂාවක් ස්වේතට  ලැබෙන්න අවශ්‍යයි කියලා. 

ඉතින් මං ඒ වෙනුවෙන්  උනන්දු වුණා.මොකද දුන්න පොරොන්දු රකින්නම අවශ්‍ය වෙලාව තමයි මේ. 

අනිත් එක මං දැක්ක සෙල්ලක්කාර චරිතය මේ වෙලාවෙදි අපේ පුංචි පැටියා  වෙනුවෙන් ගොඩක් තැන්පත් වෙලා  ගොඩාක් පරිස්සම් වෙලා .

ඇත්තමයි.

හැම කෙල්ලෙක්ම එහෙමයි ඒ අයට අත්හරින්න බැරි දෙයක් නෑ.

මේ වෙලාවෙදි අවශ්‍යම දේ වෙන්නේ එයා වෙනුවෙන් ඉපදෙන්න ඉන්න පුංචි පැටියාගේ තාත්තගේ ආරක්ෂාව,ආදරේ,ඒ වගේම මානසික නිදහස. 

මේ සියලු දේ එක්ක මගේ පුංචි පැටියා නිදහසේ නිරෝගීව ස්වේතා ගේ කුස ඇතුලේ ටිකෙන් ටික ලොකු වෙනව කියන්න මං දන්නව.

                

     ඉතින් පැටියෝ අම්මි ඉස්සර වගේ නෑ. කෑමක් කන්නේ ගමනක් බිමනක් යන්නේ හරිම පරිස්සමින්.පුංචි කුරුලෑවක් ආවත් වද වෙන ඔයාගෙ අම්මි  ක්‍රීම් වර්ග හොයන ඔයාගෙ අම්මි දැන් ඔයා වෙනුවෙන් ඒ හැමදේම ටිකක් දුරස් කරලා. බලන්නකෝ තනියම ඔයාට ඇහෙන්න අම්මි සිංදු මුමුණන හැටි.ඇත්තමයි පැටියෝ හරි පුදුමයි ජීවිතේ.

 ඉක්මනින් අපි ලගට එන්න. ඔයා එනකන් එනකම් ඇඟිලි ගැන ගැන ඉන්න

 මේ ඔයාගේ අප්පච්චි

1 comment:

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...