Tuesday, September 28, 2021

ආදරණීය තාත්ති 03


 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන. 


හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ. 


මොකද ස්වේතගේ අම්මා උදෙන්ම එයාව එක්කන් ගියේ එයාගෙ ගෙදරට. කවුරු කොයි විදියට ආදරේ කලත් අම්මගේ තාත්තගේ ආදරේ තරම් දෙයක් වෙන කොහෙද මේ ලෝකෙ. ඔව් ඒ තමයි ලෝකෙ තියෙන ඇත්ත.


 අම්මා සේවේතව එක්කන් ගියේ පන්සල් යන්නත් එක්කමයි. 

මේ වෙලාවෙදි වටිනම දේ පුංචි පැටියා වෙනුවෙන් ස්වේතගේ  මානසික නිදහස. අපි හැමෝම ඒ කාරණාව තේරුම් අරගෙන හිටියා.


 එයත් ගෙදර නැති වෙලාවෙ එයා වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න අවශ්‍යයි කියලා හිතුනේ මගේ ස්වේතා නැතිව මේ ගෙදර තියන පාළුව මකාගන්නත් එක්ක.

 

 දෙන්නෙක් ජීවත් වුණ ගෙදර තුන්වැන්නෙක් ඒ කියන්නේ අපේ පුංචි පැටියා එන නිසා හැමදේම වෙනස් වෙලා.  

 මම ගියේ අපේ නිදන කාමරයට. 

 

 ටික වෙලාවක් ඇඳේ වාඩිවෙලා හිටපු මං බලාගෙන හිටියේ ඇඳට උඩින් බිත්තියෙ එල්ලල තිබුන ලස්සන පින්තූරෙ දිහා. ඒ පින්තූරය හරිම ලස්සනයි. 

 අපි දෙන්නගෙ විවාහ උත්සවයට හොඳම යාළුවෙක්ගෙන්  ලැබුන අපූරු තෑග්ගක්. 

 

 ඔංචිල්ලාවක වාඩි වෙලා අහස දිහා බලාගෙන ඉන්න හරිම ලස්සන කාන්තාවක්.

 

   හැබැයි මට හිතුනා මේ වෙලාවෙදි අපේ කාමරේට පුංචි වෙනසක් කරන්න. පින්තූරය ගලවලා හිමින් සීරුවෙ බිමින් තිබ්බ මම ඒ වෙනුවට බිත්තියේ ස්වේතා වෙනුවෙන්ම අද අරගෙන ආව පුංචි පැටියෙක්ගෙ සිනාමුසු මුහුණක හරි අපූරු පින්තූරයක් එල්ලුවා.

   

 ඒ හිනාවට පුංචි පැටියගේ කිරිදත් හරි ලස්සනට පේනවා. මේ පැටියව දකින මුහුණකට හිනාවක් එන්නේ ඒ පින්තූරේ තියෙන ආදරණීය බව නිසාම වෙන්න ඇති. 

 

ඔන්න ඉතින් අද කාමරේට එන ස්වේතා මේ පුංචි පැටියා ව දැකලා ගොඩක් සතුටු වෙනවා කියන්න මට නම් මට හොඳටම විශ්වාසයි.


                  මේ වෙලාවේ ස්වේතගේ හිනාව තරම් මට වටින දෙයක් වෙන කොයින්ද. 

                  ඒ කටයුත්ත ඉවරවෙලා මිදුලට බැස්සේ ස්වේතගේ යාලුවෝ ටික හොදින් ඉන්නවද කියල බලන්න. 

                  

මොකද ස්වේතා කියන්නේ ගහට කොළට පුදුම තරම් විදියට ආදරයක් තියෙන කෙනෙක්. බලන්නත් ලස්සනයි අපේ පුංචි පැටියා පිළිගන්න වගේ මල් පිපිලා ඒ මල් වලින් වත්ත පුරාවට හරි අපූරුවට හැඩ වෙලා. 


මල් විතරක් නෙමෙයි කාර්යබහුල ජීවිතේ ඇතුලෙදි අපි දෙන්න එකතු වෙලා හදපු අපේ එළවලු වගාවත් මේ වෙනකොට සරුවට වැවිලා. 


තව ටික දවසක් ගත වෙනකොට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් කියන කාරණය නම් පැහැදිලියි. 


කඩේට ගිහින් දවස් ගණනක් පරණ උන එළවළු එහෙමත් නැත්නම් කාබයිට් ගහපු එළවළු පලතුරු ගේනවට වඩා අපි දෙන්නගෙ මහන්සියෙන් වවාගත්ත මේ පලතුරු නෙලාගෙන කන්න ලැබෙනවා කියන්නෙ මේ වෙලාවෙදි ලොකු වාසියක් වගේම අපේ සෞඛ්‍ය ආරක්ෂාවට හොඳම පදනමක් වෙයි.

                  

 මේ අතරවාරයේදීම ගේට්ටුව ඇරෙන ශබ්දයට මගේ ඇස් ඒ දිහාවට යොමු වුණේ ඉබේටම වගේ. ඔන්න මගේ කෙල්ල ගෙදර එනවා. 

         සුදුම සුදු දිග ගවුමකින් සැරසිලා මගේ ස්වේතා ලස්සනයි. 

         ඊට පිටිපස්සෙන් ආවෙ ස්වේතගේ  අම්මා එක එක වර්ගයේ පලාවර්ග පිරුණු මල්ලක් අම්මගේ අතේ. ඒ මදිවට අනික් අතින් උස්සගනගෙන ආවෙ තැඹිලි ගෙඩි දෙකක්. පය ඉක්මන් කරපු මම ඉක්මනට ගිහින් අම්මගේ අතේ තිබුණු බඩු ටික අරගෙන ඇවිත් එලියෙ තිබුණ පුටුව උඩින් තිබ්බා.

          

   දැන් ඉතින් වෙනදා වගේ බෑ. 

   කෑම බීම ගැන සැලකිල්ලක් දක්වන්න වෙනවා. 

   මොකද ඉතින් ඔය කුසේ ඉන්න පුංචි අමුත්තා ගැනත් හිතන්න අවශ්‍යයි නේ.

         

 ඔව් අම්මේ අපි දැන් ගොඩක් වෙලාවට රතු හාල් කන්න පුරුදු වෙලා ඉන්නේ. කඩ කෑම කැවෙන්නෙත් නැහැ.

 

 ඔව් ඒක නම් ගොඩක් හොඳයි පුතේ.පළවෙනි දරුවනේ. ඔය කාලෙදි ඉතින් දෙන්නෙක්ට කන්න ඕන කියලා කතාවක් තියෙන්නේ නිකං නෙමෙයි. 

 

හැබැයි ඉතින් ඔය කතාවෙ හැටියට දෙන්නෙක්ට කන්න ඕනේ කීවට පිටි කෑම නම් නෙමෙයි වර්ග පෝෂණ ගුනේ තියෙන දේවල් තමයි දෙන්නෙක්ට කන්න අවශ්‍ය වෙන්නේ.ඒ වගේමයි පුතේ ගෑනු දරුවෙක් උනාම ළමයෙක් කුසට එනකල්ම ඉන්න ඕනේ නෑ හොඳ පෝෂණයක් පුංචි කාලයේදී ඉඳලම ගන්න ඕන. 


එහෙම නැති වුණාම තමයි දරුවෙක් ලැබෙන්න ඉන්න කාලෙදි ඔය එක එක ප්‍රශ්න මතු වෙන්නේ. 

 

මේ දේවල් ඔය දෙන්නා තවම හරි හැටි නො දන්නවා වුණාට පුතේ ඔය කුස ඇතුලේ ඉන්න දරුවාට අවශ්‍ය පෝෂණය හැමදේම අම්මා ගෙන් ලැබෙනවා මොකද ගර්භනී වෙන්න කලින් දුවගේ ඇගේ තැන්පත් උණ පෝෂණ කොටස් තියනවනෙ ඒ නිසා බයක් නෑ. 


හැබැයි ඉතින් එහෙමයි කියලා බෑ මොකද මගේ දුවටත් හොඳ පෝෂණයක් අවශ්‍යයි.p නැත්නම් ඉතින් ලමය  ලැබුණට පස්සේ කිරි ටිකවත් හරියට දී ගන්නේ කොහොමද .

 

ස්වේතා වගේම මමත් අම්මගෙ කතාවට කන් දීගන හිටියේ හරිම උනන්දුවෙන්. මොකද අපේ පලවෙනි පුංචි පැටියා නිසා වෛද්‍යවරු දුන්න උපදෙස් ඇරෙන්න කිසිම අත්දැකීමක් අපි ළඟ තිබුණෙ නැහැ. කොහොම උනත් අපි ඇත්තටම වාසනාවන්තයි. මොකද මේ වෙලාවෙදි අම්මා තාත්තා ළඟ ඉන්න නිසා. ඒ අයගේ උපදෙස් උදව් අපි දෙන්නට මහමෙරක් තරම් වටිනවා.


 අම්මගේ කතාව ඉවර වෙනවත් එක්කම ස්වේතා හිමින් සීරුවෙ නැගිටලා ගියේ ඇඟපත සෝදන්න.   පිරිසිදුකම අපේ ජීවිතේ කොයි කාලවකවානුවේදී වුණත් අංක එක වෙන්න අවශ්‍යයි.

 

  දන්නවද පුංචි පැටියෝ අම්මිටයි  තාත්තිටයි ඔයා එනකල් ඉවසිල්ලක් නෑ. ඒ විතරක් නෙමෙයි ආත්තම්මා සීයා මේ හැමෝම ඒ වෙනුවෙන් මග බලාගෙන ඉන්නවා.


Thursday, September 16, 2021

ආදරණීය තාත්ති - 02

 ජීවිතේහරි පුදුමයි. සමහර වටින දේවල් නොහිතන වෙලාවට අපිට ලැබෙනවා. 

ඉතින් අන්න ඒ වගේ අපිට ලැබුණු පුංචි තෑග්ග මහමෙරක් තරම් වටිනවා. 

ඔයා දන්නවද පැටියෝ අද වෙනකොට ඔයා අපේ ජීවිතයට ඇවිත් හරියටම මාස මාස දෙකයි දවස් පහයි



කියන්නම ඕනි ඔයා ආව දවසේ ඉඳලම පුංචි පුංචි දේවල් පවා හරි ඉක්මනට සාර්ථක වෙන ජීවිතයක් අපිට ලැබුණා. 

කොටින්ම කිව්වොත් මට හිතෙන්නේ ඔයා තමයි අපේ වාසනාව.

ලොකු අමාරුවක් නොපෙන්නුවත් පුංච් පුංචි අපහසුතා එක්ක මේ දවස් ටික ගෙවිලා ගියා. වෙනදා වගේ උදේ පාන්දර නැගිටින්න මගේ ස්වේතාට ටිකක් අපහසුයි.

 හැබැයි එහෙමයි කියලා අර ගේ පුරාම සුවඳ විසිරුණු කෑම වේලේ රස නම් ටිකක් වත් අඩු වුණේ නෑ.

 කුලුදුලේම  අම්ම කෙනෙක් වෙන්න පෙරුම් පුරන මේ සොඳුරු චරිතය මටනම් දැනුනේ හරියටම මටත් අම්මා වගෙයි..

ඒ තරම් ආදරයක් ඒ හිත ඇතුලේ තිබුනා.

 

 කෝ මේ ලොකු බබා....? 

ස්වේතා ගේ කතාවට මට කට කොනකින් අපූරු සිනහවක් ගියා. ඒ ඉබේටම වගේ. 

                              

"ඔව් ඉතින් ඔන්න දැන් අපේ අම්මිට බබාලා දෙන්නයි. මම එහෙම දන්නෙ නෑ දෙන්නම බලාගන්න එකයි ඇත්තේ."

           එහෙම කියාගෙනම ටික වෙලාවකට කලින් මගේ අතින්ම හදලා තියපු තේ කෝප්ප දෙකක් අරගෙන ස්වේතා මගේ ළඟට කිට්ටු උනා. වෙනදට නම් උදේ පාන්දර බිස්කට් එකක් කන ගමන් කිරි වීදුරුවක් බොන එක අපි දෙන්නටම  පුරුද්දක් වෙලයි  තිබුනේ.

  දැන් ඉතින් මගෙ ස්වේතට පිටිකිරි ගැන මතක් කරන්නවත් බෑ. 

ඒ නිසාම අපි ඒ පුරුද්ද අත්හැරලා දාන්න තීරණය කලා. මොකද මගේ ස්වේතාට නැති දෙයක් මට ගන්න හිත දුන්නෙම නෑ. 

කොහොමින් කොහොමින් හරි ඉඟුරු දාපු රස තේ එකක් අපි දෙන්න වෙනුවෙන්ම උදෙන්ම සූදානම් කරන්න පුංචි පැටියා ආව දවසේ ඉදන්ම මං භාර ගත්තා.


                              වෙනදට නම් අපේ දින චර්යාව අනුව මුලින්ම එලාම් එක ඕෆ් කරන්නෙ ස්වේතා. හැබැයි දැන් ඒ වෙනුවට ඇඳට වෙලා ටික වෙලාවක් වාඩි වෙලා ඉන්න ස්වේතා පුරුදු වෙලා.

 ඒ මං හිතන්නේ මේ අපහසුතා එක්කම වෙන්න ඇති. මේ අතරේ දි කැරකිල්ලයි කියලා ආයෙමත් ඇදටම වැටෙන වෙලාවලුත් නැතිවම නොවෙයි.

 මේ කියන පුංචි පුංචි අපහසුතාවයන් වුණත් මගේ ස්වේතා විඳිනවා දකින වාරයක් ගානේ ඇස් දෙකෙන් කඳුළු වැටෙන තරමටම මගේ හිතට දැනුනේ කියාගන්න බැරි වේදනාවක්. 

මතක තියාගන්න පැටියෝ ඔයාව ඔයාගේ අම්මා ගොඩක් දුක් විඳලයි ඔය බන්ඩිය ඇතුලෙ තියාගෙන ඉන්නේ .

හැබැයි ඉතින්  මේ දේවල් ගර්භනී කාලයේදී සාමාන්‍ය දේවල් කියන කාරණය අපි තේරුම් ගත්තා.එහෙම නොවෙන්න ජීවිත්‍යට මුහුන දෙන එක ලේසි වෙන්නේ නෑ.

                              සමහර දවස්වලට ස්වේතා හිටිය හරිම අමාරුවෙන්.

ඒ උදෙන්ම හැදුන කලන්තයත් එක්කම වමනෙ යන්න ගත්තු නිසා. 

මේ විදියට වමන යන දවසට මගේ ස්වේතා ගේ මූණ හරියටම මැලැවුණු මැලැවුණු මලක් වගෙයි. අපහසුතාවය ටිකෙන් ටික මඟ හැරිලා ගිහින් ඒ ලස්සන මූණ සුන්දරත්වය ආයෙමත් මතුවෙන්න ගියේ පුංචි වෙලාවයි.

හැම දවසකම මං මග බලාගන හිටියේ ඒ හිනාව ආයෙමත් දකින්නමයි. 

පුංචි පැටියා එයාගෙ කුස ඇතුලෙ මේ විදියට දවසින් දවස අතපය දිගාරින්න සූදානම් වෙද්දී වෙනදට නොපෙනුන හරි අපූරු පින් පාටක් ස්වේතා ගේ මූණෙන් මං දැක්කේ. 

                              


වෛද්‍ය උපදෙස් පිළිපදිමින් අපේ පැටිය රැක ගන්නව වගේමයි ස්වේතා ගේ මානසික සෞඛ්‍ය රැකගන්න එක මේ වෙලාවෙදි වැදගත්ම දේ කියන්න මම තේරුම් අරගෙනයි හැම වෙලාවකදිම කටයුතු කලේ. 

ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම දෙවරක් නොසිතාම කරන්න මම පසුබට උනේ නෑ. මොකද කුසේ ඉඩක් දෙන්න මට පුළුවන් කමක් නැති වුණාට හදවතේ මුළු ඉඩම වෙනකොට ඒ දෙන්නා අත්පත් කරගෙන අහවර නිසා. 

                              

                     විවාහයට කලින් ගොඩක් මහන්සි වෙලා පෙරුම් පුරලා අපිත් අනාගත්ත නිවසට තෝරගත්තෙ නිහඬ නිස්කලංක පරිසරයක්. 

එක් පසෙකින් වෙල්යායට මූණ ලා තිබුණු අපේ නිවස කාර්යබහුල ජීවිතයට ගෙන ආවේ ඇත්තටම  හරි අපූරු නිදහස් හැඟීමක්. කොහොම වුණත් මේ නිදහස් හැඟීම අපි දෙන්නටම මේ වෙලාවෙදි ලොකු ශක්තියක් වුණා. දෙමාපියන්ගෙන් ලැබුණු අත්දැකීම් ආභාෂයත් එක්ක අපි දෙන්නටම බුදු දහම පිළිබඳ ව තිබුණේ පුදුමාකාර ලැදියාවක්. 

හැම දවසකම සවස් යාමයේදී අපේ නිවසට එන කෙනෙක්ට ඇසුණේ පිරිත්. ඒ දෙය නම් කිසිම දිනක වෙනසක් වුණේ නෑ. 

ඒ වගේමයි සියලු කාරනයන්ට පෙරදි වුනොත් බුදු කුටිය ළඟට ගිහින් ආශිර්වාදය ලබාගන්න අපි අමතක කළේ නෑ. ඉතින් පුංචි පැටියා කුස දරාගෙන ඉන්න මේ වෙලාවෙදි බුදු කුටිය ළඟට වෙලා නිහඬ නිස්කලංකව ආගමික කටයුතු වෙනුවෙන් හැම දවසකම කාලයක් වෙන්කර ගන්න අපි උනන්දු වුණා. 

උදෑසන කාලයේදී ස්වේතා ට දැනෙන අපහසුතා එක්ක මේ කාර්යයට තරමක් අපහසුයි. හැබැයි රාත්‍රී කාලයේ දී ඒ වෙනුවෙන් කාලය වෙන් කරගන්න අපට පුළුවන්කමක් ලැබුණා. 

වෙනදට රූපවාහිනිය ඉදිරියේ ගෙවපු කාලය අද වෙනකොට මේ කාර්යය වෙනුවෙන් වෙන් කරන්න අපි පුරුදු උනා. 

රාජකාරි කටයුතුත් එක්ක කොයිතරම් කාර්යබහුල වුණත් මේ නිසා ස්වේතා ට විතරක් නෙවෙයි මගේ ජීවිතයටත් ලැබුණේ පුදුමාකාර ආශිර්වාදයක්.

                     

                    මගේ දෙමවුපියෝ වගේම ස්වේතගේ අම්මා තාත්තා අපේ පැටියා වෙනුවෙන් වද වුනේ අපිටත් වඩා. මේ දෙගොල්ලම අපේ නිවසට සමීපයෙන්ම හිටපු නිසා පුංචි පැටියා කුසට ආව මේ කාලය තුලදිත් ස්වේතාට ලැබුණු ආදරය සැලකිල්ල කිසිම අඩු පාඩුවක් උනේ නෑ. බොහෝ වෙලාවට රාත්‍රී ආහාරය ලැබුණේ අපේ අම්මලාගෙ නිවසින්. 

මේ නිසා අපි දෙන්නගෙම පුංචි අමුත්තා ට එන්න කලින්ම බොහෝ දෙනෙක්ගේ ආදරේ ලැබුණා කියන්න පුලුවන්. 

                    

                තවමත් අපේ පුංචි අමුත්තා ස්වේතගේ කුසට ඇවිත් පොඩි කාලයක් වෙන නිසා වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න අවශ්‍යයි. 

ළඟ හිටපු හැම මොහොතකම එයා වෙනුවෙන් සැලකිල්ලෙන් ඇස් යොමාගෙන ඉන්න මං පුරුදු වුණා... ඒ හරියට පුංචි දරුවෙක්ව රකිනව වගෙයි.

 මගෙ හිතනම් නිතරම කිව්වේ තබන  තබන පියවරක් ගානේ වුණත් මගේ ලොකු ආරක්ෂාවක් ස්වේතට  ලැබෙන්න අවශ්‍යයි කියලා. 

ඉතින් මං ඒ වෙනුවෙන්  උනන්දු වුණා.මොකද දුන්න පොරොන්දු රකින්නම අවශ්‍ය වෙලාව තමයි මේ. 

අනිත් එක මං දැක්ක සෙල්ලක්කාර චරිතය මේ වෙලාවෙදි අපේ පුංචි පැටියා  වෙනුවෙන් ගොඩක් තැන්පත් වෙලා  ගොඩාක් පරිස්සම් වෙලා .

ඇත්තමයි.

හැම කෙල්ලෙක්ම එහෙමයි ඒ අයට අත්හරින්න බැරි දෙයක් නෑ.

මේ වෙලාවෙදි අවශ්‍යම දේ වෙන්නේ එයා වෙනුවෙන් ඉපදෙන්න ඉන්න පුංචි පැටියාගේ තාත්තගේ ආරක්ෂාව,ආදරේ,ඒ වගේම මානසික නිදහස. 

මේ සියලු දේ එක්ක මගේ පුංචි පැටියා නිදහසේ නිරෝගීව ස්වේතා ගේ කුස ඇතුලේ ටිකෙන් ටික ලොකු වෙනව කියන්න මං දන්නව.

                

     ඉතින් පැටියෝ අම්මි ඉස්සර වගේ නෑ. කෑමක් කන්නේ ගමනක් බිමනක් යන්නේ හරිම පරිස්සමින්.පුංචි කුරුලෑවක් ආවත් වද වෙන ඔයාගෙ අම්මි  ක්‍රීම් වර්ග හොයන ඔයාගෙ අම්මි දැන් ඔයා වෙනුවෙන් ඒ හැමදේම ටිකක් දුරස් කරලා. බලන්නකෝ තනියම ඔයාට ඇහෙන්න අම්මි සිංදු මුමුණන හැටි.ඇත්තමයි පැටියෝ හරි පුදුමයි ජීවිතේ.

 ඉක්මනින් අපි ලගට එන්න. ඔයා එනකන් එනකම් ඇඟිලි ගැන ගැන ඉන්න

 මේ ඔයාගේ අප්පච්චි

Tuesday, September 14, 2021

ආදරණීය තාත්ති -01

  ලංකාව පුරාවට ඇවිදලා ජීවිතයේ සුන්දරත්වය විඳපු අපි එක වහලක් යටට උනේ දෙමාපිය ආශිර්වාදයත් එක්කයි.
 විවාහ ජීවිතය හරි රහයි. 
දෙපැත්තට වෙලා විඳපු ජීවිතය විවාහයෙන් පස්සේ එක්තැන් වෙලා හරි සතුටින් බෙදා ගන්නවා. ස්වේතගේ ආදරේ කරුණාව මගේ ජීවිතේ තව තවත් ආලෝකමත් කළා. 
මේ ලස්සන ජීවිතේට රහස වගේම ශක්තිය වුණේ පවුලේ හුරතලී වුන එකම කෙල්ල මගේ ලඟට අරන් දුන්න ආදරේ පරිස්සම වෙන්න ඇති.

විවාහයට කලින් ගෙවන ජීවිතේ ඒ වගේම ඒ ජීවිතේ ඇතුළෙ තිබුණ සුන්දරත්වය නිදහස බොහෝ අය කියන විදියට නම් විවාහයෙන්  පස්සේ නැති වෙලා යනවා ලු.
 නැත්නම් බැන්දාම ආදරය අඩු වෙනවා. 
මේ කතාවනේ ඉතින් කට වචනෙට අපි හැමෝම අහල තියන කතාව.
   ඇත්තටම ඒ වගේ කතාවක් සමාජය තුළ ගොඩනැඟිලා තියෙන්නේ ඇයි කියන තරමටම මට නම් මගේ ජීවිතේ සුන්දරයි.
මම හිතන විදිහට ඒක තමයි හැම පවුලක් ඇතුළෙම තියෙන්න අවශ්‍ය බැඳීම.
   කොහොම කිව්වත් විවාහයට පස්සේ ගෙවන ජීවිතේ අර අපි කලින් ගේම ජීවිතේ තරම් සරල වෙන්නේ නෑ. ඒකට හේතුව අපි අනාගතය ගැන ඒ වගේම යුතුකම් වගකීම් පිළිබඳව ටිකක් වැඩිපුර හිතන්න අවධානයෙන් ඉන්න ඕන වීමයි. 
ඔය කරුණු කාරණා කොහොම වුණත් දෙන්නට දෙන්නා ආදරේ 
කරුණාව 
විශ්වාසය 
මත තමන්ගේ ජීවිතය ගත කරනවා නම් ඇත්තටම ඒ ජීවිතේ රහයි. ආයේ ඒකේ කතා දෙකක් නෑ.
    "දැන් ඉතින් මේ ගෙදරට අඩු කිරි සුවඳක් විතරයි"
    ඔන්න ඉතින් අපේ අම්මගේ බරබරේ.
 විවාහ වෙලා අවුරුද්දක විතර කාලයක් නිදහස භුක්ති විඳපු නිසා කුලුඳුලේම ඉපදෙන අලුත් සාමාජිකයෙක් දකින්න පුංචි පැටියෙක්ගෙ සිනා හඬ අහන්ඩ හැමෝම සූදානමින්. 
ආච්චි සීයා විතරක් නෙමෙයි අලුත් සාමාජිකයෙක් කැදැල්ලට කැන්දන්න අපි දෙන්නත් මග බලාගෙන හිටියේ. 
මේ වෙනකොට මගේ වයස අවුරුදු තිහයි.ඒ වගේම ස්වේතාට විසි අටයි. ඉතින් පුංචි පැටියෙක් ගේන්න තියෙන බලාපොරොත්තුව තව කල් අරින්න ඕන නෑ කියලා ගර්භනිභාවය නිවැරදිව සැලසුම් කරන්න අපි දෙන්නම කල්පනා කළා.
  කාර්යබහුල ජීවිතේ ඇතුලෙදි පුංචි පැටියෙක් කැන්දන්න අවශ්‍ය විටමින් වර්ග වගේම අනිකුත් කායික නිදහස නිවැරදිව ගොඩනගාගන්න මම නිතරම ස්වේතට ශක්තියක් වුනා. 
මේ සූදානමක් එක්ක වෙනදට වඩා පරිස්සම් වෙන්න අපි අමතක කලේ නෑ.
   වෙනදා වගේ නෙමෙයි. 
එදා උදේ හරි අපූරු දවසක් පරිසරය පුරාවට තිබුනේ හිත සනසන ආශ්වාදයක්. 
පුරුදු විදියටම ස්වේතගේ අතින් හැදෙන රස කෑම වේලෙ සුවඳ ගේ පුරාම විසිරෙනවා.
    මට මතකයි අපි එක වහලක් යටට ආපු දවසෙ ඉඳලම ගෙදර වැඩ බෙදා හදාගෙන කරන්නයි පුරුදු වුණේ. 
මම වගේම ස්වේතත් රැකියාවට යන නිසා මහන්සිය දැනෙන්නේ අපි දෙන්නටම කියන්න මම තේරුම් අරගෙන කටයුතු කළේ. 
ඉවුනම් පිහුම් කටයුතු විතරක් නෙමෙයි ගේ දොර අස්පස් කරන කටයුතු මේ හැමදේම අපි දෙන්න අතින්ම සිදුවන දේවල් මේ විදියට ගෙදර කටයුතු කොහොම උනත් අපි අපේ බලාපොරොත්තුව ගැනත් ඇඟිලි ගැන ගැන හිටියෙ.
     දවස් දෙක තුනක් ඉඳලම ස්වේත හිටියේ පුංචි අපහසුතාවයකින්. වෙනදට නොපෙන්වන පුංචි පුංචි වෙනස්කම් පෙන්නුම් කලා. 
පුදුම හිතෙන කාරණාව වුනේ හදිස්සියකට වත් කෑමකට සෝස් ටිකක් දාල කාපු නැති කෙල්ල කට තිත්තයි කියා කෑම එකට සෝස් කලවම් කරගන කෑව එකයි.
හැබැයි ඉතින් පහුගිය ටිකේම නංගිගෙ වෙඩින් එකට හරි හරියට මහන්සි වුණ නිසා අපි දෙන්නම ඒ ගැන වැඩි කලබලයක් වුණේ නෑ.
 මම හිතන්නේ ඒක තමයි අපේ ජීවිතේ සතුට.
අපි දෙන්නගේ හිත පුරවලා තිබුන බලාපොරොත්තුව මුලින්ම ඉෂ්ට වුණා කියලා දැනගත්ත දවස. 
මම කාමරේට ආවේ අපි දෙන්නගෙම ඔෆිස් ඇඳුම් සූදානම් කරන්න. ඒ වෙලාවෙම ස්වේතා කාමරයට  දිහාවට දුවගෙන ආවෙ HCG Strip එකක් අතේ තියාගෙන.
ස්වේතගේ ඇස් දිලිසෙනවා.ඒ ඇස් අස්සෙන් මට මාවම ආයෙමත් පේනවා.
සුරේන්ද අපේ පුංචි පැටියා අපි ළඟට එන්නයි හදන්නේ
 ස්වේතගේ මුවින් පිටවුණේ ඒ වචන. මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරු වුනා. 
ඒ දැනුන හැඟීම හරියටම හිසේ ඉඳලම දෙපතුලට ගිය පුංචි විදුලියක් වගේ. මගේ හදවත හරි වේගයෙන් ගැහෙන්න පටන් අරගෙන. මට දැනුනේ එහෙමයි.
 දෑතින්ම බදල ස්වේත මගෙ පපුවට තුරුල් කරගත්තේ මම දැන් මගෙ මැණික වෙනදාටත් වඩා පරිස්සම් කරන්න ඕනේ කියන හැඟීමෙන්.
  එහෙනම් මෙන්න මෙයා තමයි මගේ කෙල්ලට සෝස් කන්න පුරුදු කරල තියෙන්නෙ. එහෙම කියන ගමන් මම ස්වේතගේ  කුසට අත තිබ්බේ හරිම ආදරෙන්. 
අපේ පුංචි පැටියා ස්වේතගේ කුස ඇතුලේ  අපි වෙනුවෙන් ඉපදෙන්න සූදානම් වුණා වගේම ඔව් මම දන්නවා මගේ හිතත් ඒ තරමටම සූදානමින්. වගකීම් දරන්න මගේ ආදරය මගේ ලෙයින් උපදින පුංචි පැටියා රැකගන්න මගේ හිත සූදානම් වෙනවා කියලා. හරියටම පුංචි පැටියා මගේ කුස ඇතුලේ ඉන්නවා වගේ හැඟීමක් මට ඒ වෙලාවෙ දැනුන. 
  ඇත්තමයි තාත්තා කෙනෙක්ගෙ ආදරේ තේරුම් ගන්න තාත්තා කෙනෙක් වෙන්නම ඕන                  

x

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...