Tuesday, September 14, 2021

ආදරණීය තාත්ති -01

  ලංකාව පුරාවට ඇවිදලා ජීවිතයේ සුන්දරත්වය විඳපු අපි එක වහලක් යටට උනේ දෙමාපිය ආශිර්වාදයත් එක්කයි.
 විවාහ ජීවිතය හරි රහයි. 
දෙපැත්තට වෙලා විඳපු ජීවිතය විවාහයෙන් පස්සේ එක්තැන් වෙලා හරි සතුටින් බෙදා ගන්නවා. ස්වේතගේ ආදරේ කරුණාව මගේ ජීවිතේ තව තවත් ආලෝකමත් කළා. 
මේ ලස්සන ජීවිතේට රහස වගේම ශක්තිය වුණේ පවුලේ හුරතලී වුන එකම කෙල්ල මගේ ලඟට අරන් දුන්න ආදරේ පරිස්සම වෙන්න ඇති.

විවාහයට කලින් ගෙවන ජීවිතේ ඒ වගේම ඒ ජීවිතේ ඇතුළෙ තිබුණ සුන්දරත්වය නිදහස බොහෝ අය කියන විදියට නම් විවාහයෙන්  පස්සේ නැති වෙලා යනවා ලු.
 නැත්නම් බැන්දාම ආදරය අඩු වෙනවා. 
මේ කතාවනේ ඉතින් කට වචනෙට අපි හැමෝම අහල තියන කතාව.
   ඇත්තටම ඒ වගේ කතාවක් සමාජය තුළ ගොඩනැඟිලා තියෙන්නේ ඇයි කියන තරමටම මට නම් මගේ ජීවිතේ සුන්දරයි.
මම හිතන විදිහට ඒක තමයි හැම පවුලක් ඇතුළෙම තියෙන්න අවශ්‍ය බැඳීම.
   කොහොම කිව්වත් විවාහයට පස්සේ ගෙවන ජීවිතේ අර අපි කලින් ගේම ජීවිතේ තරම් සරල වෙන්නේ නෑ. ඒකට හේතුව අපි අනාගතය ගැන ඒ වගේම යුතුකම් වගකීම් පිළිබඳව ටිකක් වැඩිපුර හිතන්න අවධානයෙන් ඉන්න ඕන වීමයි. 
ඔය කරුණු කාරණා කොහොම වුණත් දෙන්නට දෙන්නා ආදරේ 
කරුණාව 
විශ්වාසය 
මත තමන්ගේ ජීවිතය ගත කරනවා නම් ඇත්තටම ඒ ජීවිතේ රහයි. ආයේ ඒකේ කතා දෙකක් නෑ.
    "දැන් ඉතින් මේ ගෙදරට අඩු කිරි සුවඳක් විතරයි"
    ඔන්න ඉතින් අපේ අම්මගේ බරබරේ.
 විවාහ වෙලා අවුරුද්දක විතර කාලයක් නිදහස භුක්ති විඳපු නිසා කුලුඳුලේම ඉපදෙන අලුත් සාමාජිකයෙක් දකින්න පුංචි පැටියෙක්ගෙ සිනා හඬ අහන්ඩ හැමෝම සූදානමින්. 
ආච්චි සීයා විතරක් නෙමෙයි අලුත් සාමාජිකයෙක් කැදැල්ලට කැන්දන්න අපි දෙන්නත් මග බලාගෙන හිටියේ. 
මේ වෙනකොට මගේ වයස අවුරුදු තිහයි.ඒ වගේම ස්වේතාට විසි අටයි. ඉතින් පුංචි පැටියෙක් ගේන්න තියෙන බලාපොරොත්තුව තව කල් අරින්න ඕන නෑ කියලා ගර්භනිභාවය නිවැරදිව සැලසුම් කරන්න අපි දෙන්නම කල්පනා කළා.
  කාර්යබහුල ජීවිතේ ඇතුලෙදි පුංචි පැටියෙක් කැන්දන්න අවශ්‍ය විටමින් වර්ග වගේම අනිකුත් කායික නිදහස නිවැරදිව ගොඩනගාගන්න මම නිතරම ස්වේතට ශක්තියක් වුනා. 
මේ සූදානමක් එක්ක වෙනදට වඩා පරිස්සම් වෙන්න අපි අමතක කලේ නෑ.
   වෙනදා වගේ නෙමෙයි. 
එදා උදේ හරි අපූරු දවසක් පරිසරය පුරාවට තිබුනේ හිත සනසන ආශ්වාදයක්. 
පුරුදු විදියටම ස්වේතගේ අතින් හැදෙන රස කෑම වේලෙ සුවඳ ගේ පුරාම විසිරෙනවා.
    මට මතකයි අපි එක වහලක් යටට ආපු දවසෙ ඉඳලම ගෙදර වැඩ බෙදා හදාගෙන කරන්නයි පුරුදු වුණේ. 
මම වගේම ස්වේතත් රැකියාවට යන නිසා මහන්සිය දැනෙන්නේ අපි දෙන්නටම කියන්න මම තේරුම් අරගෙන කටයුතු කළේ. 
ඉවුනම් පිහුම් කටයුතු විතරක් නෙමෙයි ගේ දොර අස්පස් කරන කටයුතු මේ හැමදේම අපි දෙන්න අතින්ම සිදුවන දේවල් මේ විදියට ගෙදර කටයුතු කොහොම උනත් අපි අපේ බලාපොරොත්තුව ගැනත් ඇඟිලි ගැන ගැන හිටියෙ.
     දවස් දෙක තුනක් ඉඳලම ස්වේත හිටියේ පුංචි අපහසුතාවයකින්. වෙනදට නොපෙන්වන පුංචි පුංචි වෙනස්කම් පෙන්නුම් කලා. 
පුදුම හිතෙන කාරණාව වුනේ හදිස්සියකට වත් කෑමකට සෝස් ටිකක් දාල කාපු නැති කෙල්ල කට තිත්තයි කියා කෑම එකට සෝස් කලවම් කරගන කෑව එකයි.
හැබැයි ඉතින් පහුගිය ටිකේම නංගිගෙ වෙඩින් එකට හරි හරියට මහන්සි වුණ නිසා අපි දෙන්නම ඒ ගැන වැඩි කලබලයක් වුණේ නෑ.
 මම හිතන්නේ ඒක තමයි අපේ ජීවිතේ සතුට.
අපි දෙන්නගේ හිත පුරවලා තිබුන බලාපොරොත්තුව මුලින්ම ඉෂ්ට වුණා කියලා දැනගත්ත දවස. 
මම කාමරේට ආවේ අපි දෙන්නගෙම ඔෆිස් ඇඳුම් සූදානම් කරන්න. ඒ වෙලාවෙම ස්වේතා කාමරයට  දිහාවට දුවගෙන ආවෙ HCG Strip එකක් අතේ තියාගෙන.
ස්වේතගේ ඇස් දිලිසෙනවා.ඒ ඇස් අස්සෙන් මට මාවම ආයෙමත් පේනවා.
සුරේන්ද අපේ පුංචි පැටියා අපි ළඟට එන්නයි හදන්නේ
 ස්වේතගේ මුවින් පිටවුණේ ඒ වචන. මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරු වුනා. 
ඒ දැනුන හැඟීම හරියටම හිසේ ඉඳලම දෙපතුලට ගිය පුංචි විදුලියක් වගේ. මගේ හදවත හරි වේගයෙන් ගැහෙන්න පටන් අරගෙන. මට දැනුනේ එහෙමයි.
 දෑතින්ම බදල ස්වේත මගෙ පපුවට තුරුල් කරගත්තේ මම දැන් මගෙ මැණික වෙනදාටත් වඩා පරිස්සම් කරන්න ඕනේ කියන හැඟීමෙන්.
  එහෙනම් මෙන්න මෙයා තමයි මගේ කෙල්ලට සෝස් කන්න පුරුදු කරල තියෙන්නෙ. එහෙම කියන ගමන් මම ස්වේතගේ  කුසට අත තිබ්බේ හරිම ආදරෙන්. 
අපේ පුංචි පැටියා ස්වේතගේ කුස ඇතුලේ  අපි වෙනුවෙන් ඉපදෙන්න සූදානම් වුණා වගේම ඔව් මම දන්නවා මගේ හිතත් ඒ තරමටම සූදානමින්. වගකීම් දරන්න මගේ ආදරය මගේ ලෙයින් උපදින පුංචි පැටියා රැකගන්න මගේ හිත සූදානම් වෙනවා කියලා. හරියටම පුංචි පැටියා මගේ කුස ඇතුලේ ඉන්නවා වගේ හැඟීමක් මට ඒ වෙලාවෙ දැනුන. 
  ඇත්තමයි තාත්තා කෙනෙක්ගෙ ආදරේ තේරුම් ගන්න තාත්තා කෙනෙක් වෙන්නම ඕන                  

x

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...